සිසුන් හදමුද ගුරුන් හදමුද!
සිසු විනය සහ නූතන සමාජය කෙරෙහි ඉන් ඇතිවන බලපෑම ඉතා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු සමාජ හැසිරීමකි. ඒ කෙසේ වෙතත් අතීතයේ තිබූ සරලත්වය පරිපූර්ණයයි පැවසීම සාවද්‍යය. අතීතයේ දුක් විඳිමින් අධ්‍යාපනය සොයා දිගු වෙහෙසක් ගෙන අතරමං වූ කම්කරුවන් වූ පිරිස් අදටත් එමටය. අද ඒ සියලු දේ වඩා පහසුවෙන් නිවසටම ළඟා වී තිබේ.
බොහෝ ගුරුවරුන් විසින් මවා ගන්නා ලද අහංකාරකම සහ ගුරු මුෂ්ටිය සුන්නද්දූලි වී ඇත. අතීතයේ සිට නව දියුණුවට බැණ වැදුණු සහ තවමත් බැණ වදින සියලු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව නව සංස්කෘතියේ කොටස්කාරයින් බවට පත්ව තිබීම ඓතිහාසික සරදමකි. සරල සමාජයක් තුළ ධාර්මික වනවාට වඩා සංකීර්ණ සමාජයක් තුළ ධාර්මික වීම වඩා අසීරුය. ඒ සංකීර්ණ වූ සමාජ අභ්‍යාසය අද සියලු දෙනාට ප්‍රගුණ කළ හැකි ය. එවන් තත්වයක් තුළ දී අත්වැල් දීමට සියලු ආගම් අසමත් වී ඇති බව ප්‍රත්‍යක්ෂ වී ඇති අතර නීති හෝ කැළැ නීති හෝ හිට්ලර්ලා ද ඒ සඳහා අසමත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඒ වගකීම ලැබිය යුත්තේ උගත් සමාජයටයි. එහි දී ගුරුවරුන් ප්‍රමුඛ විය යුතුයි. එහෙත් ගුරුවරුන් පාසැල් දරුවන් හා වැඩි කාලයක් හිඳීමෙන් වැදගත් වැඩකොටසක් ඉටු කළත් එය නිසි අයුරින් ඉටු නොවන්නේ පඩිය, දීමනා, මාරුවීම් ආදී නොයෙකුත් ප්‍රශන් හා ගෙදර ප්‍රශ්න මත පෞද්ගලික ජීවිතය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට ගුරුවරුන්ට සිදුවීම නිසාත් විවිධ ගුරුවරුන් පැයක කාලයක සීනුවක් හැඬවෙන තෙක් ළමුන්ට විෂය නිර්දේශය පමණක් සම්පූර්ණ කිරීමට වෙහෙසෙන නිසාත්ය.
මීටත් වඩා ශෝචනීය තත්වය නම් විභාග පදනම් වූ කඩපාඩම් අධ්‍යාපන කමයෙන් බිහිවී ඇති බොහෝ පාසැල් ගුරුවරු මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවා තමුන්ගේ පටු හා දෝශ සහිත දෘෂ්ටිය සිසුන්ගේ නොමේරූ මනස් තුළට කාවැද්දවීමය. සිංහල ගුරුවරයා ජාතිවාදය වපුරයි. දර්ශනය උගන්වන විශ්ව විද්‍යාල මහැදුරා විෂය අතීත දාර්ශනිකයින්ගේ මත තමුන් අදහන ශාස්තෘවරයාගේ දැනුමට වඩා පහත් බව පුනා පුනා කියයි. පොත් ලියන දාර්ශනිකයින්ද මෙය සිදු කරයි. ඉංගිරිසි පොත් වල මෙම විකාර මේනියාව දකින්නට නො ලැබේ.
නැවතත් ගුරු වෘත්තිය දෙස සිත යොමු කිරීමේදී පෙනී යන සහ සංකීර්ණ ජන සමාජයක් යහමග ගැනීමේ අසීරුතම කරුණ නම් ගුරු වෘත්තිය ගෞරවනීය තත්වයට පත් නොකිරීමය. ඔවුන්ට තැනින් තැන අධ්‍යාපන කාර්යාලවල ලිපිකරුවන් අතින් සහ වෙනත් නිලධාරීන් අතින් හෑල්ලු වෙවී නිවාඩු දමා රස්තියාදු වීමට අවස්ථාවක් නො සැලසිය යුතුය. විදුහලේ විදුහල්පති කාර්යාලයෙන් ඒ සියලු අවශ්‍යතා සපුරා ලීම සඳහා වූ සම්බන්ධීකරණයක් සිදු කළ යුතුය.
සිසුවකුට ගුරු ඇසුර නොලැබීමට අනෙක් හේතුව නම් පන්ති භාර ගුරුවරයකු සිටියත් නාම ලේඛනය ලකුණු කිරීම හැර වෙනත් ප්‍රමාණවත් ඇසුරක් එක දිගට ඔවුන්ට නොලැබීමය. අඩු වශයෙන් බාලාංශ පන්තිවලවත් එකම ගුරුවරයකු සමග ඇසුරු කිරීමේ අවස්ථාව ළමුන්ට ලැබිය යුතුය. එවිට ශිෂ්‍යයින්ට විෂය නිර්දේශය වෙනුවට සමාජය ගැ
න නිවැරදි දැනීමක් ලබා ගැනීමට නිරායාසයෙන්ම හැකි වනු ඇත.
එසේම වීඩියෝ දර්ශණ මගින් ලංකාවේ සහ වෙනත් රටවල් ගැන දැනුම ලබාදිය යුතුය. එයද කළ යුතු වන්නේ අනෙක් රටවල් හෑල්ලු කිරීමෙන් නොව ළමුන්ට සිතා ගැනීමට ඉඩ දී නිවැරදි දැනීම පමණක් ලබා දීමෙනි. ඊළඟට මතු වන ප්‍රශ්නය නම් දවසම සිසුන් හා රැඳී සිටියත් අදාළ ගුරුවරයා පටු දෘෂ්ටියක් සහිත කඩපාඩමින් විභාග තරණය කළ අයකු නම් ඇතිවන ව්‍යාකූලතාවයයි.
ජීවිතය අවුලක් කරගත් අයකු ගුරු වෘත්තියට සුදුසු නැත. එනිසා අනාවාර්යයෙන්ම මනෝ විද්‍යාව සාහිත්‍ය ඇතුළු සමාජ විද්‍යාත්මක දැනීමක් ගුරුවරුන්ට අඩුම තරමින් වසර 2 ක කාලයක් තුළදීවත් ලබාදිය යුතුය. එම පුහුණුවද නිසි පරිදි වෙනත් කණ්ඩායමකගේ අධීක්ෂණයට පාත්‍ර විය යුතුය. එසේ නැතිව හැමදාම බටහිරට හෝ එසේත් නැත්නම් වෙනත් ආගමික හෝ සමාජ සංස්කෘතියකට බැණ වදිමින් කුසීත හා කටින් පමණක් පුරාජේරු ගසන අනෙක් සියලු සංස්කෘතීන් ද්වේශ කරන හා පිළීගැනීමක් නොදෙන අමන අහංකාර සමාජයක් තවදුරටත් වර්ධනය වීමට ඉඩ සැලසීම සමස්ථ මානව සමාජයටම කෙරෙන වරදකි.
සුනිල් අල්ගම - 2020 ඔක්තෝබර් 11


0 Comments