Ticker

6/recent/ticker-posts

පාසල් අධ්‍යාපනය කොයිබට ද?

පාසැල් අධ්‍යාපනය කොයිබටද?

අද පාසැල් අධ්‍යාපනය ගැන වෙනදාට වඩා දැඩි අවධානයක් යොමු වී ඇත. සුපුරුදු පරිදි වෙනස් වීම් වහ කදුරු මෙන් වූ බොහෝ වැඩිහිටියන් සහ සමහර තරුණ කොටස් තවමත් යෑමට අර ඇඳීම ශෝචනීය ය. ඒ කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එදා සිටම අද දක්වා සිදුවන බව සත්‍යයකි. එය බොහෝ දෙනාට නොදැනෙන්නේ ඒවා අඬබෙර ගසා කෙරෙන්නක් නොව එක් එක් ආණ්ඩුවල දැක්ම අනුව ඉතා සුළු වශයෙන් කෙරෙන්නක් වීමය. මෙහි වරද ඇත්තේ ද එතැනය. අධ්‍යාපනය යනු මුළු සමාජයක් අනාගතය තීරණය කරන්නක් වන බැවින් මනා සැලසුමක් ඇතිව පුළුල් ජන සහභාගීත්වයකින් අදහස් හුවමාරු කර ගනිමින් කළ යුත්තකි. තවද, එය කළින් කළට වෙනස් වන්නක් නොව දිගුකාලීන එකක් විය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවී ජාතික ප්‍රතිපත්තියක් ලෙස ස්ථාපිත කිරීම මෙම අඩුපාඩුවට ඇති පිළියම වේ. දියුණු රටවල අධ්‍යාපන ක්‍රම හැදෑරීමක් සිදු වූවත් ඒවා ක්‍රියාවට නැංවිය නොහැකි වී ඇත්තේ ද එක් එක් ආණ්ඩුවලින් තම ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා වරින්වර යෝජනා සහ සංශෝධන ක්‍රියාත්මක කරන බැවිනි.



අධ්‍යාපන මට්ටම් දියුණු කිරීම

මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් විය යුතුය. අතීතයේදී අධ්‍යාපන මට්ටම පොත පතෙහි දැනීම මත පදනම් විය. හැකි තරම් කටපාඩම් කිරීම සහ කටපාඩම් ගැනීම ගුරුවරයා සහ ශිෂ්‍යා සතු ජයග්‍රහණ විය. එහෙත් නූතන යුගයට ගැළපෙන පරිදි අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීමේදී  පාසැල් පද්ධිතිය මූලික කොටස් දෙකකට බෙදා වෙන් කිරීම වඩා සුදුසුය. ඒ පහ වසර සහ ඉන් පෙර බාලාංශ සහ ඉන් පසු එළඹෙන අ.පො.ස. උසස් පෙළ දක්වා වූ ඉහළ අධ්‍යාපනය යනුවෙනි. පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බොහෝ විට නොසලකා හැරෙන වැදගත් දෙයක් ඇත. පාසැලෙන් ඔබ්බට අධ්‍යාපනය ගෙන යා යුතු බවට ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති නොකිරීමයි. ඒ වගකීම පැවරෙන්නේ පාසැල් අධ්‍යාපනයටයි. අද සමාජය වේගයෙන් පරිණාමය වන අතර නිරන්තර අධයාපනය අත්‍යවශ්‍ය කරුණකි. මේ නිසා වැඩිහිටියන් පවා දැනුම සමග ඉදිරියට යෑම සංවර්ධිත රටෙක අවශ්‍යතාවයකි. එයට සුදුසු විධිමත් අඩිතාලමක් සහ යොමු කිරීමක් සිදුවිය යුත්තේ පාසල් අධ්‍යාපනය තුළයි.

අධ්‍යාපනය තුළින් ගුණාත්මක ජිවිතයක්

පාසැල් අධ්‍යාපනය තුළින් ගුණාත්මක ජිවිතයක් ඉලක්ක කළ යුතුය. අද බොහෝ විට සිදුවන්නේ සිසුන් අ.පො.ස( සා.පෙ) හෝ උසස් පෙළ දී අධ්‍යාපනය හමාර කර අතරමං වීමයි. සහතිකයක් මිස අධ්‍යාපනයේ සෘජු වෘත්තීය දායකත්වයක් හෝ අනාගතයේ යොමු විය යුතු ක්ෂේත්‍ර පිළිබඳ නැඹුරුවක් නැත. එය එසේ නොවිය යුතුය. ශිෂ්‍යාගේ දක්ෂතා හඳුනා ගැනීම පාසැල් අධ්‍යාපනය තුළ සිදුවිය යුතුය. වෘත්තීය සඳහා යොමුවෙන පරිදි විෂය පථය සංශෝධනය විය යුතු අතරම ඒ සඳහා අදාළ වෘත්තීය දැනුම සහිත ගුරුවරුන් පාසැල් අතර හුවමාරු කිරීම හෝ බඳවා ගැනීම වඩා සුදුසුය. එසේම ක්ෂේත්‍ර චාරිකා ආදිය මෙන්ම නිරීක්ෂණ හා කණ්ඩායම් සාකච්ඡා ශිෂ්‍යයන් අතර සුදුසු පරිදි ක්‍රියාත්මක විය යුතුය.

ශිෂ්‍යයන් සඳහා නිල ඇඳුමක් අවශ්‍යයමද?

මෙයද යල් පැන ගිය ක්‍රමයක් වන අතර ශිෂ්‍යායින් යනු නිදහස් මනසකින් යුතුව ක්‍රියා කරන පිරිසක් වීම නිර්මාණාත්මක අධ්‍යාපනයක ලක්ෂණයකි. එකම නිල ඇඳුමක් නිසා විවිධ ආර්ථික ප්‍රශ්න ඇති ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වන අතර එකම ඇඳුම නඩත්තු කිරිමට යෑමේදී අනෙක් සිසුන්ගේ පරිභවයට ගොදුරු වන අවස්ථාද ඇත.

විභාග වල වැදගත්කම

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරිම වටී. පන්තියෙන් පන්තියට වාර විභාග පැවැත්වීම දුර්වල සහ දක්ෂ සිසුන් ලෙස වර්ග කරනු ලැබ  දෙමව්පියන් අතින්ද තරවටු ලැබීමට හේතුවේ. ලකුණු වාර්තා පොත් අත්සන් කර ගෙන ඒමේදී ශිෂ්‍යයන් මානසික පීඩනයට ගොදුරු වෙති. දෙමව්පියන්ටද තම දරුවන් ගැන බිය සැක පහළ වේ. එසේම අ.පො.ස(සා.පෙ) කඩඉමක් ලෙස තැබීමද අධ්‍යාපනය පිරිහීමට හේතුවකි. විශ්ව විද්‍යාල ප්‍රවේශය හැරුණුකොට අනෙක් සෑම මට්ටමකදීම ගුරුවරයා විසින් ශිෂ්‍යයන් කෙරෙහි කරනු ලබන අගැයීම ප්‍රමාණවත්ය. එහි දී ගුරුවරයා ශිෂ්‍යයින් සමග සමීපව කටයුතු කළ යුතු අතර ඒ සඳහා නිසි පුහුණුවක් ලැබිය යුතුය. එමගින් ශිෂයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පීඩනයකින් තොරව විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා ගෙන යා හැකි වනු ඇත.

සුනිල් අල්ගම

2022.06.24

 

 

 

.

 

Post a Comment

0 Comments