දෙවියන්ගේ පැවැත්ම
දෙවියන් ගැන අපි බොහෝ දේ කතා කරමු. විවිධ වූ අදහස් එකතු කරමු. සමහරු දෙවියන් යනු තම ආගමික නිකායකට අයිති දෙයක් පමණක් යැයි සිතීමට පෙළඹෙති. . පියවි ඇසට නොපෙනෙන සංකල්පයක් ගැන එකිනෙකට පරස්පර අදහස් ඇතිවීම ස්වභාවිකය.. අපට සිතීමට අයිතියක් ඇත. එසේම අදහස් ප්‍රකාශනයටද අයිතියක් ඇත. දෙවියන් වැනි පොදු දෙයක් පිළිබඳව විශ්වාස කිරීමට හෝ අවිශ්වාස කිරීමට හෝ තර්ක කිරීමට අයිතියක් ඇත. දෙවියන්ගේ පැවැත්මක් තිබේද යන ප්‍රශ්නය මෙතෙක් නොවිසඳුණු ප්‍රධාන දාර්ශනික ගැටලුවක්ව පැවතීමෙන්ම ඒ බව මොනවට පැහැදිලිය.
සොබාදහමේ උදාහරණය
දෙවියන් විද්යමාන වන්නේ පරිසරය හා සොබාදහම තුළිනි. දෙවියන්ගේ ආරම්භයක් හෝ අවසානයක් නැත. දෙවියන්ට වාසය කිරීමට වෙනම ස්ථානයක් නැත. දෙවියන් නිහඬව බලා සිටියි. තම පැවැත්ම ඒකාකාරීව ගෙන යයි. මිනිසාට තමා වෙතට ළං වීමට හෝ ඈත් වීමට ඉඩ හැර බලා සිටියි. දෙවියන් වෙතට ආදරයෙන් ළං වන්නාට නොසිතූ පරිදි යහපත උදා වෙයි.
දෙවියන් හා ආදරය
දෙවියන් සෑම තැනම විද්යාමාන වන නිසා දෙවියන්ට ආදරය කරන තැනැත්තා සත්ය වශයෙන්ම මෙලොව සෑම ජාතියකටම, ආගමකටම, කුලයකටම , ගස් වැල් සතා සීපාවා සියලු දෙයකටම ආදරය කළ යුතුය. ඒවායේ පැවැත්ම රැකගත යුතුය. එසේ කිරීමට අවශ්ය වන්නේ ගස් ගල් ඇදහිලි පුද පූජා හෝ ආගම් නොව සමස්ත සොබා දහමට ආදරය කරමින් එහි පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා මුළු ජීවිත කාලය තුළදීම කටයුුතු කිරීමයි. ආදරය කරන්නා තුළ ඇත්තේ සතුටයි. සොබාදහමේ පැවැත්මට ආදරය කරන්නා එහි වෙනස්වීම් ස්වභාවය ලෙස දකිමින් ඒව ගැන කම්පා නොවේ. තම යුතුකම සෑම විටෙකදීම පවත්වාගෙන යෑම තුළින් අනවරත සතුට ලබාගනිති.
ආදරය තුළ කෝපයට හෝ හිංසනයට ඉඩක් නැත
කිසිවකුට කරදර දීම ආදරය පවත්වාගෙන යෑම නොවන බව හඳුනාගෙන කටයුතු කරති. අනවශ්ය ලෙස මුදල් කාලය හා ශ්රමය වැය කරමින් ලාභ පතා පින් නොසොයති. ඔවුන් තුළින් කනගාටුව පළා යයි. යමකු දෙවියන් දකින්නේ එවන් වූ සොබාදහමක් තුළින් මිස ආගමික වතාවත් හෝ වෙනත් ඇදහිලි පුද පූජා තුළින් නොවේ. ආදරය ඇත්තේ කොතැනකද එතැන දෙවියන් ඇත. දෙවියන් තමුන් සමග රඳවා ගැනීම හෙවත් දේව පැවැත්ම යනු ආදරයේ පැවැත්මයි
සුනිල් අල්ගම 2022.10.12


0 Comments