Ticker

6/recent/ticker-posts

අප රටේ දේශපාලනය කොයිබටද?






ජනාධිපතිවරණය

නාධිපතිවරණයක් අත ළඟය. කාලය වේගයෙන් පියඹා යයි. ජාතික ජන බලවේගය ජනපතිවරණය සඳහා කල් ඇතිවම සූදානම් වී ඇත. පැරණි වම ගැන කතා කිරීමට තරම් දෙයක් නැත. පොදු පෙරමුණට සම්බන්ධ පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දෙකට කැඩී ඇත. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කැඩී බොහෝ කල් ගතවී ඇති අතර සජිත්ගේ සමගි ජනබලවේගය කරා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ද ඇදෙමින් පවතී. රට බංකොලොත් භාවයෙන් යම් තරමකට ගොඩ ගනිමින් සිටින නායකයා ලෙස රනිල්ට පෙර නොවූ විරූ ආකාරයේ ගෞරවයක් තිබුණත් පොහොට්ටු දේශපාලකයින් සහ රාජපක්ෂ පවුල් රැකීම සම්බන්ධව ඔහුට චෝදනා ඇත. එසේම මහ බැංකු වංචාව සම්බන්ධව චෝදනා එල්ල වූ රවි කරුණායක වැනිවුන් සහ ජනතා අධිකරණයේ දූෂිතයින් ලෙස නම් වී ඇති රාජිත සේනාරත්න වැනිවුන් කෙරෙහි ජනතා අප්‍රසාදය ඉතා බලවත් හෙයින් ඔවුන් රනිල් සමග වේදිකාවක දක්නට ලැබීම රනිල් පිළිබඳ විශ්වාසය පලුදු වීමට හේතු වී ඇත. ජාතික ජනබලවේගය ඕනෑවට වඩා කල් ඇතිව ප්‍රචාරක කටයුතු දියත් කළ නිසා ඔවුන්ගේ අඩුපාඩු සහ ඔවුන්ට පිළිතුරු දිය යුතු ආකාරය ගැන විරුද්ධ පාර්ශව වලට සූදානම් වීමේ අවස්ථාව ලැබී තිබේ. 

බදුබර සහ දේශපාලන නාටක

බදුබරින් හිස එසවීමට නොහැකි ජනතාව ඉන් එසවීම සංවර්ධනයේ මූලික අරමුණ විය යුතුය. එසේ නැතිව ඔවුන් දුගී බවින් තවත් දුගී බවට පත් කිරීම තුළින් ඇසට පෙනෙන සංවර්ධනයක් වූවත් රටෙක සංවර්ධනය සිදු වේයැයි සිතීම විහිලුවකි. ජනතාව සතුටින් සහ ඕනෑඑපාකම් පහසුවෙන් ඉටුකර ගැනීමට නොහැකි රටෙක සංවර්ධනයක්ද නැත.  තත්වය එසේ තිබියදී ආගමික සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීමට බදුබරින් මිරිකී සිටින ජනතාවගේ මුදල් අයථා ලෙස යෙදවීමකි.  ආගම  දේශපාලන වාසි සඳහා යොදවා ගැනීම මිස මෙවන් බංකොලොත් වූ රටෙක කළ යුත්තක් නොවේ.

තත්වය අවිනිශ්චිතය
මහජනතාව අවිනිශ්චිත තත්වයක සිටිතිි. කාට ඡන්දය දුන්නත් අනාගතය අඳුරු විය හැකි බව විශ්වාස කරන්නන්ද බොහෝය. මැතිවරණවල අප්‍රකාශිත ඡන්ද ගොඩ වැඩිවන්නේ එලෙසිනි. බොරු නොකී දේශපාලකයකු සොයා ගැනීම දුෂ්කර නිසා පක්ෂය කුමක් වූවත් 225ම බොරුකාරයින් ලෙස හංවඩු ගැසී බොහෝ කල් බව අප විසින් අමතක කළ යුතු නැත.

නිර්පාක්ෂික ජනපති අපේක්ෂකයෙක්
දේශපාලන රැස්වීම් වලට නොයන, ඔවුන්ගේ කතා වලට සවන් දීම පිළිකුල් කරන බොහෝ අයගේ පැතුම වන්නේ  නිර්පාක්ෂික අපේක්ෂකත්වයයි. හිටපු ජනපති එළවා දැමීමට මුල් වූ සාමකාමී ජනතා නැගිටීමේ මූලික සටන්පාඨය වූයේද 225 ම එපා යන්නය. දේශපාලන රැස්වීම් වලට කොපමණ ජනතාව එකතු වූවත් ගෝටාගෝගමට මුල් වූ නිදහස් දේශපාලන චින්තනය ජනතා මනසින් ඉවත් කළ නොහැකිය.

සුනිල් අල්ගම 2024. 06.11


Post a Comment

0 Comments