බදුබරට වගකිවයුත්තෝ රාජපක්ෂවරුන් ම ය
හොඳම අසල්වැසියා
රටවල් ලංකාව දෙස කළකිරී සිටියදී, සිඟන්නන් ඇතුළු ඉන්දීය ජනතාව අපට ආධාර කළෝය.
කුහක දේශපාලනය සහ බිය
කෙතරම් වහසි බස් දෙඩුවත්, මැජික් සැලසුම් පැවසුවත්, ජනතා බලපෑම මත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී අගමැති තනතුර සඳහා විවෘත ආරාධනාවක් කර තිබුණු අභියෝගාත්මක අවස්ථාවේ දී කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවීම ලැජ්ජා සහගතය; බියගුළු සහගතය; කුහය.
යුතුකම සහ වගකීම
2022 දී, විධායකය අසරණ වූ ඒ අවස්ථාවේ ව්‍යවස්ථාදායකයට එකතු වී රට වෙනුවෙන්, තෙල්, ගෑස්, කිරිපිටි ආදී මෙකී නොකී දෛනික අවශ්‍යතා වෙනුවෙන් හඬා වැළපෙමින් සිටි බංකොලොත් රටෙක ජනතාවක් බේරා ගැනීම සඳහා ඉදිරිපත්වීම හා සහයෝගය දීම රටට ආදරය ඇති ඕනෑම අවංක දේශපාලනඥයකු විසින් කළ යුතුව තිබූ යුතුකමකි; වගකීමකි.
ප්‍රශංසනීයයි
වත්මන් ජනපති පමණක් බැණුම් අසමින් ඒ යුතුකම හා වගකීම භාරගැනීම ප්‍රශංසනීය ය.
ලොවට එපා වූ රටක් බේරාගැනීම
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීන නියෝජනය සහ IMF ආධාර සාකච්ඡා පවා සිහිනයක් වෙද්දී, සමහර බංකොලොත් පක්ෂ ලැජ්ජා සහගතව ඒ පිටුදකිද්දී, නව ජනපති ඒ අභියෝගය භාර ගැනීම ම පුදුම සහගතය. චිත්‍රශිල්පියකු මනසේ ඇඳි චිත්‍රයක් සම්පූර්ණ කිරීමට නොනවත්වා අධෛර්ය නොවෙමින් කටයුතු කරන ආකාරයෙන්, IMF යෝජනා සහ තම සිතේ ඇඳි අනාගත සැලසුම් චිත්‍රය අදියරෙන් අදියරට දුෂ්කරතා සහ විරෝධතා මැද සම්පූර්ණ කරමින්, වියපත් වූවත් තම විශ්මය ජනක මතක ශක්තිය හා පිරිස් කළමනාකරණය මනාව සම්බන්ධීකරණය කරමින් වත්මන් ජනපති රට බේරා ගත්තේය.
ප්‍රතිලාභ එකවරම නොවේ
යමෙක ප්‍රතිලාභ එක්වරම ළඟාකරගත නොහැක. ගසක් සිටවූ කළ එයට පොහොර දමමින් ඒ රැක ගනිමින් බලාසිටිය යුතු බව ප්‍රායෝගිකය. සමහරුන් විහිළුවට ගත්තත්, 2048 වසර ජනපති සැලසුමේ කූටප්‍රාප්තියයි. ඒ පූර්ණ සංවර්ධිත රටක් බවට අප රට පත් කිරීමයි
රට විකිණීමේ බොරුව
නවීන ලෝකය තාක්ෂණික දියුණුව කරා සීඝ්‍ර ගමනෙක යෙදී සිටියි. ඒ සඳහා අවශ්‍ය සියලුම සම්පත් අප සතුව ඇතැයි පැවසීම මුළාවෙකි. දැනුම, අමුද්‍රව්‍ය ආදිය නිෂ්පාදනය කළ යුතුය. යාබද ඉඩමෙන් අඟලක් හෝ යාකර ගැනීමට උත්සාහ කිරීම, වැඩුණු පසු විශාල ඉඩක් ගන්නා, මහ ගසෙක් මුල තමුන්ගේ වත්තේ සිටවා අනුන්ගේ වත්තක ගසේ කොළ අතු වැඩෙන්නට සැලැස්වීම, අනාදිමත් කාලයක සිට මව් රට කරගත් ජාතියකගේ දියුණුවීමේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන අතරම කුමන උපක්‍රමයකින් හෝ විදේශතවී තමුන් උදේ හවා බැණවදින බටහිර රාජ්‍යයක පුරවැසි අයිතිය සඳහා සටන්වදින බොහෝ දේශමාමකයින් සිතන්නේ රටට වන යහපත නොව පිටරැටියන් ගෙන යන මුදල ගැනය. ජපනා ටෙලිකොම් සංවර්ධනය කර පිටවූවා මිස විනාශ කළේ හෝ රැගෙන ගියේ නැත. සුද්දා කළ සංවර්ධන ව්‍යාපෘතිවල ඵල අපි අදටත් භුක්ති විඳිමු.
විනයක් වූ රාජ්‍යසේවය
ඇමති හා එක් වී මහජන මුදල් අවභාවිත කරන දූෂිත රාජ්‍ය සේවයක් ගැන අද ටෙලි නාට්‍ය පවා බිහිවෙයි. විගණන වාර්තා පවා රාජ්‍ය ආයතනවල දූෂණ හෙළි කරයි. ඒවා මහාපරිමාණීය ය. ජනතා බදු බරට හේතු ය. ඒ හැර අකාර්යක්ෂමය . ඕනෑම අයකු කුඩම්මාගේ සැළකිලි ලැබෙන සහ රස්තියාදු කරවන රාජ්‍ය ආයතන වෙත සේවාවක් ලබාගැනීම සඳහා යෑම ට මැළිවෙති. රාජ්‍යසේවයේ ආරම්භක මට්ටම වන ග්‍රාමසේවක වෙතට යෑමට පවා බොහෝ දෙනෙකු මැළිකරන්නේ ඒ රාජ උෂ්ණය දරා ගැනීමට හැකි තරම් ඝන හදවත් නොමැති බැවිනි.
කාලයක් අවශ්‍යයි
ජනපතිට ජීවිත කාලය ම බැණ වැදි පොහොට්ටු දේශපාලනය අද ඔහුගේ ගුණ දැකීම අව්‍යාජය. පුදුමසහගතය. ඔවුන් සැලසුම්සහගත, ඉදිරි දැක්මක් ඇති නායකයකු සමග යහපත් ඉදිරි බලපොරොත්තු ඇතිකරගෙන සිටිති. තව වසර පහක ඉඩක් ජනපතිට ලැබුණොත් රාජපක්ෂ පවුල් පාලනය නිසා බංකොලොත් වූ රටේ දුක්විඳින මහජනතාවට යම් පමණෙකට නිදහසේ හුස්ම ගැනීමේ අවස්ථාව හිමිවනු නියතය.
සුනිල් අල්ගම (නිදහස් මාධ්‍යවේදී) 2024.06.19.
Photo credit goes to reuters.com



0 Comments